එරු නිර්මාණය කරන ලද ආත්ම.
fëa කියල කියන්නෙ Illuvatar ගෙ දරුවන් වෙන එල්ෆ්, මිනිස්සු සහ කුරුමිට්ටන්, එන්ට් වැනි Valar වරුන්ගේ දරුවන්ට අයිති ආත්ම වලට. මේ ආත්මයකට පරිපූර්ණ ජීවියෙක් බවට පත් වෙන්න භෞතික ශරීරයක් අවශ්‍ය වෙනව. එල්ෆ් විශ්වාස වලට අනුව ආත්මයක් සහ ශරීරයක් කියන්නෙ පන නැති ශරීරයකට පන වගේ. මේ කොටස් දෙකට අනෙකා නැතුව පරිපූර්ණත්වයක් නැහැ. එල්වයන්ට අනුව ශරීරයක් නැති ආත්මයක් බොහෝ දුරට බල රහිතයි. ඒ වගේම ආත්මයක් නොමැති ශරීරයක ඉරණම ස්වභාවික මියයාමයි. හැබැයි Orcs, Early dwarves ලා කියන්නෙ ආත්ම නැතුව පණ තියෙන ශරීර. හැබැයි ඒ ශරීරයෙන් වැඩ ගන්නනම් බාහිර බලවේගයක් අවශ්‍ය වෙනවා.
දැන් බලමු මේ ආත්ම ගැන.
එල්ෆ් ආත්ම
එරු විසින් එල්ෆ් ආත්ම නිර්මාණය කරන්නෙ විශ්වයේ ඉරනමත් එක්ක බැඳෙන විදිහට. ඒ කියන්නෙ විශ්වයේ අවසානය දකිනකම් කිසිම එල්ෆ් ආත්මයකට විශ්වයෙන් පිටවීමට හැකියාවක් නැහැ.මොවුන්ගේ ශරීරය මිය ගියත් ආත්මය විශ්වයෙන් පිටවී යාමටනොහැකිව විශ්වයේ අවසානය දකින්න මැන්දොස්ගේ ශාලාවට වෙලා බලාගෙන ඉන්නවා. මේ නිසා තමයි එල්වයන් ස්වභාවයෙන්ම අමරණීය ජීවීන් වෙන්නෙ. එල්වයන්ගෙ මේ පුදුම සහගත ස්වභාවය නිසා එල්ෆ් ආත්ම වලට තමන්ගෙ ශරීරයේ තියෙන පාලනය අනික් ආත්ම වලට සාපේක්ෂව ඉහලයි. මිනිස්සුන්ට සාපේක්ෂව එල්වයන් ඉතාමත් ශක්තිමත් වගේම සැහැල්ලු හා මිනිසකුට මාරාන්තික වෙන්න පුලුවන් තුවාල පවා ඉතාමත් ඉක්මනට සුව කරගන්න එල්වයන්ට හැකියාව තිබෙනවා. ඒ වගේම එල්වයන්ගෙ ශරීරය ස්වභාවයෙන්ම ලෙඩ රෝග වලට පලිහක් විදියට තම තියෙන්නෙ. කොහොම නමුත් එල්වයන්ගෙ ශරීර තුවාල වලින් හෝ අඳුරු බලවේග නිසා මිය යාමේ හැකියාවක් තියෙනව. ඒ වගේම කාලයත් සමඟ වියැකෙන ස්ථානයක ජීවත් වුනොත් එල්වයන්ගෙ ශරීර වියැකී යන්නත් හැකියාවක් තියෙනව(අරේවන් හට සිදු වූ ආකාරයට). ඒ වගේම එල්වයන්ගෙ ආත්ම වලට ජීවත් වීමේ ආශාව නැති වෙලා තම කැමැත්ත මත ආත්මයට ශරීර අතහැර යාමට පුලුවන්. වැලාර් වරුන් විසින් එල්වයන්ව අමාන් වෙත කැඳවගෙන යනත් හේතු වෙන්නෙ මේවාම තමා.
අමාන් එහෙමත් නැතිනම් අමරණීය භූමිය කියන්නෙ කිසිදු සෘණාත්මක සිතුවිල්ලක් හෝ අදුරු බලවේගයක් නැති පිරිසිදු ආලෝකමත් ස්ථානයක්. මේ නිසා අමාන් වලදි එල්වයන්ට එකිනෙකා සමඟ සටන් කිරීමට උවමනාවක් නැහැ. ඒ වගේම අමානය කිසි දිනක වියැකෙන ස්ථානයක් නොවෙන නිසා එල්වයන්ගේ ශරීර වියැකීමක් හෝ ජීවත් වීමේ ආශාව නැතිවීමක්ද ඇති වෙන්නෙ නැහැ. මේ නිසා එල්වයන්ට ජීවත් වෙන්න සුදුසුම ස්ථානය වෙන්නෙ අමානයයි.
ෆෙයනෝර් සහ අනුගාමිකයන් අනුගමනය කරමින් මධ්‍යම පෘථිවියට ගිය එල්වයන් මියයාමෙන් පසුව මැන්දොස්ගේ ශාලාවට පිටත් වී නැවතත් ශරීරයක් ලබාගැනීමට හැකියාවක් හම්බුනා. මෙම දෙවන ශරීරය ඔවුන්ගේ පලමු ශරීරයට ඉතාමත් සමානව තමයි නිර්මාණය කෙරෙන්නෙ. නමුත් මෙලෙසෙ ශරීරයක් ලබාදීම ඔවුන් විසින් ජීවත් ව සිටියදී සිදුකල ක්‍රියාවන් මත පදනම්ව තමයි සිදුවුනේ. තමාගේ ජීවිත කාලයේදී උදාර ක්‍රියාවන් සිදුකල එල්වයන්ට ඉතාමත් ඉක්මනින් නැවත ශරීරයක් ලබාගැනීමට හැකි වුනා (උදා : ග්ලෝෆින්ඩේල්). ඒ වගේම නපුරු ක්‍රියාවන් පමණක් සිදුකල එල්වයන්ට විශ්වයේ අවසානය දක්වාම ශරීරයක් ලබාගන්න හැකියාවක් නැහැ. (උදා : ෆෙයනෝර්) එමෙන්ම ඕනෑම එල්වයෙකුට ශරීරයක් ලබාගැනීම ප්‍රතික්ෂේප කර සදහටම මැන්ඩොස් ශාලාවේ සැරිසැරීමටඋනත් අවසර තිබුනා.
මරණින් පසු මැන්දොස්ගේ ශාලාව වෙතට යාම එල්වයන් හට අනිවාර්ය දෙයක් නොවුන අතර කැමති අයෙක්ට එම ආරාධනාව අතහැර දමා මධ්‍යම පෘථිවිය තුලම සිටිමටද හැකියාවක් තිබුන නමුත් වලාරයන් විසින් මෙලෙස ආරාධනාව ප්‍රතික්ෂේප කරන ආත්ම අඳුරට යටත් වූ ආත්ම ලෙස සලකා ඔවුන්ව සදහටම අතහැර දමනවා. මෙලෙස ආරාධනව ප්‍රතික්ෂේප කරන බොහෝ ආත්ම අඳුරු බලවේගයන්ගේ ආරාධනාවන් පිලිගෙන අඳුරු ආත්ම බවට පත් වෙනවා. ඒ වගේම තෙවන යුගයේදී මධ්‍යප පෘථිවිය තුල මිය ගිය බොහෝ එල්වයන් මැන්දොස්ගේ ආරාධනය අතහැර දමා ඔවුන් නිතරම ජීවත් වුන ස්ථාන තුල සක්මන් කරමින් සැරිසරන්නට කමැත්තක් තිබුනු බව සඳහන් වෙනවා. මේ ආත්ම සතුව ජිවත් වෙන පුද්ගලයන්ගේ ශරීර වලට ඇතුළු වීම ඔවුන්ව මැරීමට තැත් කිරීම, ජීවත් වන්නන්ට මානසික පීඩා කිරීම වැනි අඳුරු අරමුණු තිබුණු නිසා ජීවත් වන පුද්ගලයන්ට ඔවුන් සමඟ ගනුදෙනු කිරීම තහනම් දෙයක් වුනා. නමුත් භූත විද්‍යාව භාවිතා කරන්නන් විසින් මේ ආත්ම පාලනය කර ඔවුන්ට අවශ්‍ය දේවල් ඉටු කරගැනීමට පෙලඹුනා. සෞරොන් හටද "Necromancer" යන නම ලැබුනේ මෙලෙස ආත්ම පාලනය කිරීම සිදුකල නිසයි ROP එකේ මේ දේ ගැන සදහනක් තියෙනවා.
මධ්‍යම පෘථිවිය තුල බොහෝ ජිවත් වුනු එල්වයන්ට ජීවත් වීමේ ආශාව අහිමි වී සිය කැමැත්තෙන් ශරීරය අත හැර මැන්දොස්ගේ ශාලාවට පිටවී ගියා. ඒ වගේම තුන්වන යුගය වෙන විට බොහෝ එල්වයන්ගේ ශරීර දුර්වල වීමටද පටන් ගැනුන. තුන්වන යුගයේ එල්වයන් පලමු සහ දෙවන යුග වල සිටි එල්වයන් තරම් බලවත් හෝ ශක්තිමත් නොවීමට හේතුව වන්නෙද මෙයයි. තුන්වන යුගය තුලදී සෑම එල්වයෙක්ම වැලිනෝරය වෙත පිටත් වීමට තීරණය කලේද මේ නිසාමයි. ඔවුන් වැලිනෝරයට පිටත් නොවි මධ්‍යම පෘථිවියෙම සිටියහොත් කෙමෙන් කෙමෙන් ඔවුන්ගේ ආතමයන් විසින් ශරීරය විනාශ කරගෙන අවතාර බවට පත් වෙනවා හරියට Nazgul වරුන් වගේ.
මිනිස් ආත්ම
එල්ෆ ආත්ම විශ්වයේ අවසානය තෙක්ම ජීවත් විය යුතු වුනත් මිනිස් ආත්මයන් ශරීරයේ මියයාමෙන් සුළු කාලයකට පසුව සම්පූර්ණයෙන්ම අතුරුදහන් වී යනව. එල්වයන් විසින් මෙම ඉරණම ත්‍යාගයක් ලෙස හැඳින්වුවත් මිනිසුන් එය දුටුවේ ශාපයක් ලෙසයි. එල්වයන්ට අනුව මිනිසුන්ද මියයාමෙන් පසුව මැන්දොස්ගේ ශාලාවට යා යුතු වුනත් සුළු කලකින්ම එම ආත්ම මැන්ඩොස් ශාලාව තුලින්ද අතුරුදන් වෙනවා ඒක අනිවාර්යයෙන් සිද්ද වෙන දෙයක්. නමුත් ඉන් අනතුරුව එම ආත්ම වලට සිදුවන දෙය ගැන කිසිඳු සඳහනක් නැහැ. එල්වයන් විශ්වාස කල අන්දමට එරු විසින් මිනිස් ආත්ම නැවතත් ඔහු වෙතට කැඳවාගන්ව.
කෙසේ නමුත් ශාපයන්ට නතුවූ සහ පොරොන්දු කඩකල මිනිස් ආත්ම වලට ශාපය නිමවන තෙක් හෝ පොරොන්දුව සම්පූර්ණ කරන තෙක් ලෝකය අත හැර යාමට හැකිවුනේ නැහැ. ඒ වගේම නාස්ගූල් වරුන් මෙන් විවිධ මායාක්‍රම භාවිතා කරමින් සදාකාලයටම Seen සහ Unseen යන මානයන් ද්විත්වය තුලම ජීවත් වුන මිනිස් ආත්ම වලටද එය එසේමයි.
කුරුමිටි සහ එන්ට් ආත්ම
කුරුමිට්ටන් සහ එන්ට්වරුන් එරුගේ ලමයින් නෙවෙයි. කුරුමිට්ටන් නිර්මාණය කෙරනු ලබන්නේ අවුලේ නම් වලාර්වරයා විසින්. කෙසේ නමුත් වැලාර් වරුන්ට ශරීර නිර්මාණය කිරීමට හැකියාව තිබුනත් ආත්ම නිර්මාණය කිරීමට හැකියාවක් තිබුනෙ නැහැ. මේ නිසා ඔහු එරුගෙන් තමාගේ දරුවන්ට ආත්ම ලබා දී පන ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් කුරුමිට්ටන් යනු අවුලේ විසින් තමාගේ අවසරයකින් තොරව සිදුකල නිර්මාණයක් බැවින් එරු එය ප්‍රතික්ෂේප කර කුරුමිට්ටන්ව විනාශ කරන ලෙස අණ කරනව. කෙසේ නමුත් අවුලේ කුරුමිට්ටන් විනාශ කිරීමට යාමේදී එරු කුරුමිට්ටන් හට ආත්ම ලබාදීමට එකග වෙනවා හා එල්වයන් සහ මිනිසුන්ට පසුව ඔවුන්ව අවදි කරවන ලෙස අවුලේට අණකර ඔවුන්ව නිර්මාණය කල ඒ ගුහා තුලම දීර්ඝකාලීන නින්දකට යවනවා. කුරුමිට්ටන්ද මියයාමෙන් පසුව මැන්දොස්ගේ ශාලාවට පිටත්වන අතර ඔවුන්ගේ ආත්මද සුළු කලකින්ම මිනිස් ආත්ම මෙන්ම අතුරුදහන් වී යනව. නමුත් කුරුමිට්ටන්ගේ පුරාවෘතවලට අනුව ඔවුන්ගේ ආත්ම විශ්වයේ අවසානය තෙක් මැන්දොස්ගේ ශාලාවේ විශේෂ ශාකාවක කල් ගෙවන අතර වර්තමාන විශ්වය විනාශ වී නව විශ්වයක් නිර්මාණය කරන කාර්යයේදී අවුලේ හට උපකාර කිරීම සඳහා නැවතත් ශරීර හිමිකර ගන්නව.
අවුලේ විසින් නිර්මාණය කල කුරුමිට්ටන් හට ආත්ම ලබාදීමෙන් අනතුරුව යවානා දෙවගන විසින්ද වනාන්තර ආරක්ෂා කිරීමට එන්ට්වරුන්ව නිර්මාණය කොට එරුගෙන් ඔවුන්ට ආත්ම ලබාදෙන ලෙසට ඉල්ලා සිටිනවා. එරු විසින් ඔවුන්ටද ආත්ම ලබාදුන් නමුත් එන්ට් ආත්ම පිලිබඳව වැඩිදුර සටහන් නම් නැහැ.
fëar / Souls - ආත්ම
hröa - භෞතික ශරීරයක්
Necromancy - භූත විද්‍යාව (UnUnseen World එක සමග ගැනුදෙනු කිරීම)


.jpeg)
Comments
Post a Comment